කහටගස්දිගිලිය නගරය භීතියට පත්කරමින් අපරාධ රැසකට සම්බන්ධව සැගවීසිටි මත්කුඩු කල්ලියක් පසුගියදා 19 වනදා අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හටගස්දිගිලිය, ඇල්ලවැව, සීප්පුකුළම යන ප්‍රදේශවල පදිංච්කරුවන් වන ඩී. සාරංග දිසානායක, ඩී. සමීර සුගත් දිසානායක, විරාජ් ආසිරි, ධනුශ්ක කුමාර, ශෙහාන් ජයවර්ධන යන සැකකරුවන් 5 දෙනෙකුයි.
මෙම සැකකරුවන් කහටගස්දිගිලිය සහ එහි අවට ප්‍රදේශයන්වල මත්කුඩු ජාවරමේ නිරත්වෙමින් මත්කුඩු බෙදාහැරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව ලද තොරතුරු මත මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීමක් සිදුකිරීමට පසුගිය 12 වන දින අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
එහිදී මෙම කණ්ඩායම ඉතා සූක්ෂ්ම ලෙස මෙම ජාවරම්කරුවන් කොටු කරගැනීමට සැලසුමක් දියත් කර තිබුණා.
එහිදී මෙම නිළධාරීන් ජාවරම්කාර පිරිසගෙන් අයිස් නැමැති මත්කුඩු ග්‍රෑම් 500ක් රුපියල් ලක්ෂ 90කට මිලට මිලදී ගැනීමට දුරකථන ඇමතුම් ඔස්සේ සාකච්ඡා කරගෙන තිබෙනවා.
ඒ අනුව එය මිලදී ගැනීමට පැමිණෙන අයුරින් පොලිස් විශේෂකාර්‍ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයෙකු හා යුධ හමුදා බුද්ධි නිළධාරීයෙකු මෙම සැකකරුවන් සිටි ඇල්ලවැව ග්‍රාමයට පැමිණ තිබෙනවා.
එහිදී මෙම සැකකරුවන් මෙම නිළධාරීන් දෙපල තැන් කිහිපයකට කැඳවා තිබෙනවා.
අනතුරුව මෙම පිරිස මෙම නිළධාරීන් දෙදෙනා කහටගස්දිගිලිය, රන්පත්විල, ඇල්ලවැව ප්‍රදේශයේ පාලු නිවසකට රැගෙන ගොස් තිබෙනවා.
අනතුරුව ජාවාරම්කරුවන් විසින් නිළධාරීන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී කැපුම් සිදුකර නිලධාරින් සන්තකයේ තිබූ බෑගයක් රැගෙන ජාවාරම්කකරුවන් පලාගොස් තිබෙනවා.
එම බෑගයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියාගේ 9mm වර්ගයේ ගිණි අවිය සහ උණ්ඩ 10 මැගසින් 1ක් තිබී ඇති අතර සැකකරුවන් එයද රැගෙන ස්ථානයන් පලා ගොස් සිටි බව කහටගස්දිගිලිය පොලීසිය පවසනවා.
අනතුරුව තුවාල ලැබූ නිළධාරීන් දෙදෙනා කහටගස්දිගිලිය පොලීසියට පැමිණකළ පැමිණිල්ලකට අනුව මෙම සිදුවීම සිදුකර පලාගිය සැකකරුවන් සොයා කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජයන්ත ගුණතිලක මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් විමර්ශන ආරම්භ කළා.
එහිදී සිදුකළ මූලික වැටලීම්වලින් ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියාගේ 9mm වර්ගයේ ගිණි අවිය පාලුවැව ප්‍රදේශයේ අතුරු මාර්ගයක් අසල දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඉන් අනතුරුව දින කිහිපයක් සිදුකල මෙහෙයුමකින් අනතුරුව පසුගියදා 19 අළුයම 3.30ට පමන ඇල්ලවැව ග්‍රාමයේ කළ වැටලීමකින් කැලෑවට යාබදව කුඩා කාමරයක සැඟව සිටියදී මෙම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් ළඟ තිබී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ අත්බෑගය, යුද හමුදා බුද්ධි නිලධාරියාගේ අත්බෑගය, නිලධාරින්ට පහරදීමට යොදාගත් පිහිය එහිදී කහටගස්දිගිලිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ප්‍රදේශයේ ජාවරම් රැසකට සම්බන්ධ නමගිය අපරාධකරුවන් වන බව සිදුකළ මූලික පරික්ෂණවලින් හෙළිව ඇති බව පොලීසිය පවසනවා.
මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ජයන්ත ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබනවා.