කිලිනොච්චිය පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේදී අද(27) අලුයම් කාලයේදී ඉන්ධන බවුසරයක් පෙරලීම හේතුවෙන් එහි රැගෙන ගිය ඉන්ධන විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
මෙම ඉන්ධන බවුසරය මුතුරාජවෙල සිට කිලිනොච්චිය හරහා පුනරීන් මාර්ගයේ යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ අවස්ථාවේදී අද(27) අලුයම් කාලයේදී මෙලෙස පෙරලී ඇති බවයි අනාවරණ වන්නේ.
ඉන්ධන බවුසරය පෙරලීම හේතුවෙන් එහි රියදුරුට සුළු තුවාල සිදුවී ඇති අතර බවුසරයටද දැඩි හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්ධන බවුසරය පෙරලීම හේතුවෙන් එහි රැගෙන යමින් තිබූ ඉන්ධන තොග විශාල ප්‍රමාණයක් ඉවතට ගොස් විනාශ වී ඇති අතරම උදෑසන කාලයේදී ප්‍රදේශවාසී ජනතාව විසින් කාන්දු වන ඉන්ධන තොග රැස්කොට රැගෙන යාමටද පියවර ගෙන තිබුණා.
ඉන්ධන බවුසරය පෙරලීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට පරීක්ෂණ සිදු කරනු ලබන පොලිසිය සැක පළ කරනවා.