ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර පසළොස්වක පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා. සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරීම සහ අභිණිෂ්ක්‍රමණය කිරීම මෙන්ම රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි උතුම් පුර පසලොස්වක පොහොය දිනෙකයි. අප මහා තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙළහරපෑම ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක සිදුව තිබෙනවා. එමෙන්ම වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද අද වැනි පොහොය දිනෙකයි. මේ අනුව අද රට පුරා බෞද්ධ විහාරස්ථානවල වස් ආරාධනා පිංකම් මාලාවක් ආරම්භ වනවා. මේ අතර වී එෆ්.එම් ගුවන්විදුලි නාලිකාවේ සාධු නාද පොහොය වැඩසටහන අද පෙරවරු 06.00 සිට දවස පුරාම මාතර, ඌරුබොක්ක, බෙංගමුව, චේතියකන්දරාරාම විහාරස්ථානයේ සිට සජීවීව ගෙන එනු ලබනවා.