යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී අනතුරට පත්ව මුහුදුබත් වූ, ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ජූලි මස 31 වන දින සිදුකල මුදවාගැනිමේ මෙහෙයුම මඟින් මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) සහ, ප්‍රතිකාර සඳහා පුංගුඩුතිව් රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව සිටි එක් (01) ධීවරයෙකුගේ මෘතදේහය, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරිණි.
යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවර යාත්‍රා, අනවසර ධීවර කටයුතු වල නිරත වන බව නිරීක්ෂණය කල නාවික හමුදාව, එම ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සඳහා 2024 ජූලි මස 31 වන දින රාත්‍රී කාලයේ නාවික හමුදා යාත්‍රා යෙදවීමට කටයුතු කෙරිණි. එහිදී, එම අනවසර ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු මෙහෙයවමින් සිටින අවස්ථාවේදී, නාවික හමුදා නියෝගයන්ට ප්‍රතිරෝදය දක්වා (Aggressive Manoeuvre) නාවික හමුදා අත්අඩංගුවට පත්වීම වළක්වාගැනීම සඳහා පලායාමට උත්සාහ කිරීමේදී, එක් ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටී ඉදිරියට යාත්‍රා කර පෙරළී, මුහුදුබත් වන බව නාවික හමුදාවට නිරීක්ෂණය විය.
එහිදී, ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනා (04) මුදා ගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, මුහුදුබත් වෙමින් තිබූ යාත්‍රාව වෙත ජීවිත ආරක්ෂක උපකරණ යොමුකර එහි සිටි ධීවරයින් තිදෙනෙකු මුදාගැනීමට කටයුතු කෙරිණි. මුදාගත් ධීවරයින් අතරින් එක් ධීවරයෙකුගේ තත්වය අසාධ්‍යව පැවති බැවින්, එම ධීවරයාගේ ජීවිතය බේරාගැනීම සඳහා එම මුහුදු ප්‍රදේශයට ආසන්නයෙන්ම පිහිටි පුංගුඩුතිව් රෝහල වෙත කඩිනමින් යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කලත්, එම උත්සාහය ව්‍යාර්ත කරමින් එම ධීවරයා රෝහල වෙත ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති බවට රෝහල් බලධාරීන් විසින් තහවුරු කර ඇත.