අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත්, අන්තර්පළාත්, සිසුසැරි, සිසු ප්‍රවාහන සේවා, ඇඟලුම් කම්හල් සේවක ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථවලින් 95%ක් බස් රථ ධාවනය වන්නේ භූමිතෙල්වලින් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා තිබෙනවා.
දිස්ත්‍රික්ක තුළ සහ පිටතට ධාවනය වන බස් රථ බෙහොමයක් භූමිතෙල්වලින් ධාවනය කරන බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතාට නිරන්තරව පැමිණිළි ලැබී තිබෙනවා.
එසේම මේ පිළිබඳව මගීන් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය වෙත ද ලිඛිතව මෙම ගැටළුවේ සත්‍ය අසත්‍යතාවය සොයා බලන ලෙස දන්වා ඇත.
ඒ අනුව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා සිය ජංගම පරීක්ෂක කණ්ඩායම සමඟ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සහයෝගය ඇතිව හදිසි වැටලීම් කිහිපයක් ඊයේ(25) දිනයේ සහ අද (26) දිනයේ ස්ථාන කිහිපයක දී සිදුකරන ලද අතර අවසානයේ බස් නැවතුම්පළවලට ගොස් බස් රථවල භාවිත කරන්නේ ඩීසල් ද නැතහොත් භූමිතෙල් ද යන්න පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
මෙහිදී බොහෝ රියදුරු සහ කොන්දොස්තරවරුන් තම බස් රථ වල ආදායම් තත්ත්වය ඉහල නංවා ගැනීමටත් බස් හිමියා විසින් ලබා දුන් උපදෙස් අනුව සමහර පිරිස් මෙසේ භූමිතෙල් කලවම් කර බස් රථයට භාවිත කරන බව පවසා තිබෙනවා.
තවත් සමහරෙක් විවිධ අනුපාත යටතේ වැඩි වශයෙන් භූමිතෙල් ද අඩු වශයෙන් ඩීසල් ද භාවිත කරන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
මෙය විශාල පරිසර හානියක් සේම, ජීවිත අවදානමේ හෙලීමක් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
මෙවර දැනුවත් කිරීමක් වශයෙන් භූමිතෙල් භාවිතයෙන් ඉවත් වන ලෙසත් මේ වන විට බස් කර්මාන්තය නිවැරදි දිශානතියකට යොමු කරමින් පවතින නිසා ඒ සඳහා අප සැම වෙනස් විය යුතු බවත් සභාපතිවරයා පවසා තිබෙනවා.
ඒනිසා මෙවැනි පහසුකාරක කියා වැරදි දේවල්වලට යොමුවීම තුල මගීන්ගේ මෙන්ම රියදුරු කොන්දොස්තරවරුන්ගේ ජීවිත අවදානමේ හෙලීම නොකර මෙවැනි විෂමාචාර ක්‍රියාවලින් ඉවත් වන ලෙස ද උපදෙස් ලබාදුන්නා.
එසේම සමහරක් බස් රථවල රියදුරු සහ කොන්දොස්තර මහතුන් තම බස් රථවලට ඉන්ධන පිරවුම්පළ තුළින් ඉන්ධන පිරවීමේ දී ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් ද ඉදිරිපත් කර තිබෙනවා.
එම බස් රථ වල භූමිතෙල් ඩීසල් සමඟ මිශ්‍රවී ඇත්තේ ඉන්ධන පිරවුම්පළවල පවතින ගැටළුවක් නිසා බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද රියදුරු සහ කොන්දොස්තර මහතුන් ඉල්ලා තිබෙනවා.
සමහරක් පිරිස් එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු අතර මාධ්‍යවේදීන්ට කැමරාකරණය නොකරන ලෙස ද ඔවුන් තර්ජනය කර තිබෙනවා.
තවත් පිරිස් බස් රථ සැඟවීම ද සිදු කරන ඇති අතර එම පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පොලිස් නිළධාරීන් කටයුතු කර තිබෙනවා.