පොලිස් අණ නොතකා පලාගිය සැකකරුවෙකු වටවල පොලිසිය විසින් මාර්ගය හරස් කර සැකකරු ඊයේ(08) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බව වටවල පොලිසිය පවසනවා.
වටවල පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 පිස්තෝලයක්ද සොයා ගැනුණු බවයි.
ගම්පොළ, වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිඳ ද සමගින් නුවරඑළිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේදී වටවල පොලිසිය ඉදිරිපට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ජීප් රථය නවතා පරීක්ෂා කර තිබෙනවා.
එහිදී එම අවස්ථාවේදී ජීප් රථය තුළ මිලිමීටර් 9 පිස්තෝලයක් ඇති බවට පොලිසිය දැක තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් පිස්තෝල අවිය භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් තිබේද යන්න සම්බන්ධයෙන් කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමගින් ජීප් රථයෙන් නුවරඑළිය දෙසට පලාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුවත් කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස වටවල රොසැල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි වටවල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ට දන්වා තිබෙනවා.
ඒ අනුව එම නිලධාරීන් විසින් රොසැල්ල ප්‍රදේශයෙන් වෑන් රථයක් හරස් කර ජීප් රථය නතර කර සැකකරු ගිනි අවිය සමග අත්ඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
සැකකරු ධාවනය කළ ජීප් රථය පරීක්‍ෂා කිරීමේදී ජීප් රථය තුළ සැකකරුගේ නිවසේ සුරතලයට ඇති කළ බව කියන මුගටි පැටවෙකුද සිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ගිනි අවිය සමග භාවිත කිරීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩයක්ද තිබී සොයාගෙන තිබෙනවා.
ගිනි අවිය භාවිතා කිරීම සඳහා සැකකරු විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කළ බලපත්‍රයක්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතත් එම බලපත්‍රය නීත්‍යානුකූලව ලබාගත් එකක්ද යන්න සම්බන්ධයෙන් සනාථ කර ගැනීමට අවශ්‍ය නිසා සැකකරු, ගිනි අවිය සහ බලපත්‍රයක් නොමැතිව මුගටි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලිසිය් ස්ථානාධිපතිවරයා පැවසීය.
පොලිස් අණ නොතකා රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් සැකකරු විසින් පොලිසිය වෙත පවසා ඇත්තේ වාහන සීසර්වරුන් පිරිසක් තමන්ගේ වාහනය පසුපස ලුහුබඳින නීසි තම ජීප් රථය පොලිස් අණ නොතකා ධාවනය කළ බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මුගටි පැටවා නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත භාරදෙන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.