
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත් තරගයක් ඉරිව තිබියදීම වාර්තා කිරීමට එංගලන්තය සමත්වුනා. ඒ දෙරට අතර පැවති දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකාව කඩුලු 6කින් පරාජයට පත් වීම හේතුවෙන්. කාඩිෆ්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෲක් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟින් තරගයට එක්වූ අතර, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ වෙනුවට තරිඳු රත්නායක සහ දිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැඳවා තිබුනා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 21ක් , පැතුම් නිස්සංක ලකුණු 37ක් සහ වනිඳු හසරංග ලකුණු 27ක් බැගින් රැස් කිරීමටයි සමත්වුනේ නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 145ක්. එංගලන්තය වෙනුවෙන් ලියම් ඩෝසන් කඩුලු 3ක් දවාගත් අතර, ජොෆ්රා ආචර් කඩුලු 2ක් දවාගත්තා. ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 12යි පන්දු 1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකර ගැනීමටයි සමත්වුනේ. තරගයේ වීරයා ලෙස නම් කෙරුණු ලියම් ඩෝසන්ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් අතර, උඩපන්දු දෙකක්ද රැක ගනු ලබුවා.














