පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව අයථා ලෙස මුදල් ඉපයීම සහ ආයෝජනය කිරීම පිළිබද නඩුවකට ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් පියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන අයට එරෙහිව පැමිණිල්ලක් ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.
නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.
ඒ අනුව පැමිණිල්ල අගෝස්තු මස 7 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.