මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග වන වගා රක්ෂිතවලට සහ ළඳු කැළෑවලට ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව පරිසරවේදීන් පවසනවා.
මෙලෙස රක්ෂිතවලට ගිනි තැබීම් නිසා පරිසර විනාශය, ජල මූලාශ්‍ර සිඳී යාම සහ එම රක්ෂිතවල වෙසෙන සතුන්ට ඇතිවන බලපෑම් ඉහළ ගොස් ඇති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පවසන්නේ.
ඊයේ(25) පස්වරුවේ ළිඳුල, තලවකැලේ, හැටන් යන පොලිස් වසම්වලට අයත් රක්ෂිත ගණනාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම හේතුවෙන් එම රක්ෂිතවල විශාල කොටසක් අද(26) අලුයම වන තෙක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ලිඳුල ලැමරියන් වතු රක්ෂිතය, තලවකැලේ සෙන්ක්ලේයාර් රක්ෂිතය සහ හැටන් වටවල දුම්රිය මාර්ගයේ පිහිටි ස්වභාවික ඉලුක් රක්ෂිතවලට මෙලෙස ගිනි තබා තිබෙනවා.
මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග මෙවැනි රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














