නාවලපිටිය බස් නැවතුම්පොළ අසල වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලේ පිහිටා ඇති බලපත්‍රලාභී රට බීම මත්පැන් විකුණුම් ස්ථානයෙන් මත්පැන් මිලදීගෙන එම රට බීම වෙළෙඳ සැල ඉදිරිපිට මත්පැන් පානය කර අශෝභන ලෙස හැසුරුණු පුද්ගලයන් 14 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.
බස් නැවතුම්පොළට දිස්වන සේ පිහිටි එම රට බීම මත්පැන්සලෙන් මත්පැන් මිලදී ගන්නා ඇතැම් පුද්ගලයන් එම වෙළෙඳ සැල ඉදිරිපිටම මත්පැන් පානය කර බස් නැවතුම් පොලේ රැඳී සිටින පාසල් ළමුන්ට සහ බස් නැවතුම් පොලේ පිහිටි වෙළෙඳ සැල්වලට පිවිසෙන කාන්තා පාරිභෝගිකයන් ඇතුළු මගීන්ට උසුළු විසුළු කරන බවට නාවලපිටිය පොලිසියට ලද පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම සිදු කර ති බෙනවා.
මෙම මත්පැන් අලෙවිසැලෙන් මත්පැන් මිලදී ගෙන එම ස්ථානයේදීම පානය කර ඇතැම් පුද්ගලයන් විසින් තමන්ට සිදු කරන උසුලු විසුලු සම්බන්ධයෙන් ගම්පොළ සුරාබදු කාර්යාලයට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළද එයට විසඳුම් නොලද නිසා මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියට පැමිණිලි කළ බවයි පීඩාවට පත් මගී ජනතාව පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය අවට පදිංචි අවුරුදු 30ත් 40ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් එම සැකකරුවන් අද(26) නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නාවලපිටිය පොලිස්ය පවසනවා.