ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයකුට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අදාළව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙම සිදුවීමට අදාළ නීතිඥවරයා සමග පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතිඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධි බලහත්කාරය පෑම නිරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පෙලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.