දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, මඩකළපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 27) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ වෙල්ලාවෙලි, සුදුවැල්ල, ඔලුවිල්, කල්මුණේ ප්‍රදේශයේ කාර්තිව්, නාවින්නවේලි, පොතුවිල්, මඩකළපුව දිස්ත්‍රික්කයේ නොසලානමලේ යන ප්‍රදේශ සහ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අතුරලිය, බලකාවල සහ අරම්පත්වල යන ප්‍රදේශයන්හි ඇතිවි ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට සිදුකරමින් සිටියි.
එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රදේශයේ ට්‍රැක්ටරයක් පෙරලීමෙන් සැඩපහරට හසුවී අතුරුදන්වී ඇති පුද්ගලයින් පිරිසක් සේවීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් එම ප්‍රදේශයේ මෙහෙයුමක් සිදු කරමින් සිටින අතර, එක් දරුවකුගේ සිරුරක් මේවන විට සොයාගෙන ඉදිරි කටයුතු සඳහා කල්මුණේ රෝහල වෙත යොමුකිරීමට කටයුතු කෙරිණි.