හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වී තිබෙනවා.
ඒ එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා විසින්.
එප්පාවල සමූපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් 2019 වර්ෂයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති අරමුදලින් රුපියල් 27,500,000ක මුදලක් අවභාවිත කළ බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.
එප්පාවල සමූපකාර සමිතිය විසින් 2017 වර්ෂයේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරය දැරූ 2019 වර්ෂයේ ජනවාරි මාසයේදී එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවයි පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ.
පැමිණිලිකරු පවසන්නේ අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා එහි තිබූ කඩ කාමර හතක් කඩා ඉවත් කර ඇති බවයි.
එසේම ඒවායේ තිබූ වටිනා දොර, ජනේල්, උළුවහු, ෂීට් ඇතුළු භාණ්ඩද අස්ථාන ගත වී ඇති බව පැමිණිලිකරු පවසනවා.
උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබූ බවත් ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තු කර තිබූ බවත් එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පවසනවා.
ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමදායකත්වය යුද හමුදාවෙන් ලබාගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත්කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවයි උප සභාපතිවරයා සිය පැමිණිල්ල මගින් පවසන්නේ.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවත් මේ වනවිට ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී ඇති බවත් පැමිණිලිකරු පෙන්වා දෙනවා.
එසේම මෙහි කිසියම් මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබාගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවයි.
මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද පැමිණිලිකාර එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පවසන්නේ.