එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිය අද(08) ආරම්භ වීමට නියමිතයි.
සැසිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් උල්ලංඝනය, රාජ්‍ය පාලනය යන කාරණා සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා මෙවර සමුළුවේදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙවර සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් සම්මත වුවහොත් යුද අපරාධ චෝදනා, දූෂණ චෝදනා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය සම්බන්ධයෙන් 2027 වසර දක්වා මානව හිමිකම් කවුන්සිලයේ අධීක්‍ෂණයේ පසුවනු ඇති නමුත් ශ්‍රී ලංකාව වගවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලයට සහයෝගීතාවය පළ කළහොත් ජාත්‍යන්තර ප්‍රජාවේ පීඩනය අවම වනු ඇති බවත් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
එසේම විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ණය ආධාර, භූ දේශපාලනය, ජී,එස්.පී. ප්ලස් බදු සහනය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ පිළිවෙත දෙස අවධානයෙන් බලා සිටින බවයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සැසියට සහභාගිවීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහිදී අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අමාත්‍යවරයාට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මියද සහභාගි වනවා.
එසේම සංචාරය අතුරදී අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමග ජිනීවා නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ සැසිවාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිත බවයි.