දුම්රිය ස්තානය ආසන්නයේම බහුවිධ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(14) පස්වරුවේ හැටන් බස් නැවතුම්පොලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස කියා සිටියා.
“අද දිනයේදී අපි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පිහිටවනු ලැබුවා.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපේ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ කමිටු පිහිටුවනවා.
14 වැනිදා දිනයේ අප නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු කලේ ඒ කටයුතුයි.
රටේ මිනිස්සු මිලියන 22කටම සම්බන්ධ දෙයක් තමයි ප්‍රවාහනය. අපේ රටේ ප්‍රධාන ගැටලුවක් තමයි ප්‍රවාහනය.
සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන්නේ බස් රථ, කෝච්චිය නැත්නම් ත්‍රීවීල් එක වගේම පාසල් බස් රථ වැනි දේවල්.
ඒවා හරියට පාලනය වෙන්නෙත් නෑ. පහසුකම් ඇත්තෙත් නෑ.
මේ ප්‍රදේශයේ වැඩිපුරම කඳුකර ප්‍රදේශයක්.
වතු ජනතාව ඉන්නේ ආර්ථික වශයෙන් අමාරු ප්‍රදේශයක්.
නමුත් හරියට ප්‍රවාහන සේවාව සපයන්න ගැටලු රාශියක් තියෙනවා.
පාරවල් ප්‍රශ්න තියෙනවා.
ඒ හේතුවෙන් අපි සම්බන්ධීකරණ කමිටුව පිහිටුවා ගත්තා.
ඒකේ සභාපති වශයෙන් පත් වුණෙත් මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීතුමා.
එතකොට අපිට පුළුවන් වෙනවා කොළඹයි නුවරඑළියෙයි තියෙන ප්‍රශ්න වේගයෙන් කතා කරලා විසඳගන්න.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරවල් හදන්න විතරක් මිලියන 2500කට ආසන්න මුදලක් වෙන් කරලා තියෙනවා.
අපි 14 වැනිදාත් මිලියන 300කට ආසන්න මුදලක් අලුතිනුත් ලබාදුන්නා.
පාරවල් හදන්න.
පාරවල් හදනවට වඩා අමාරුයි කෝච්චි, ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ තරහා වෙලා වගේනේ ඉන්නේ.
එකම මිනිස්සු තැන් දෙකකින් බෝඩ් කරන්නේ. ඒ නිසා ඒකාබද්ධ කාලසටහනකට යා යුතුයි.
අපි 14 දිනයේ දැනුම් දුන්නා ලබන වසරක කාලය තුළදී ක්‍රමානුකූලව ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට යන්න ඕන.
ලංගම සහ පෞද්ගලික යන දෙපැත්තෙන්ම හැදිය යුතු කාරණා තිබෙනවා.
අපට මේ පිළිබඳ එකට බලන්න වෙන්නෙ. එක් පැත්තකින් මේක මහජනතාවගේ අවශ්‍යතාවයක්, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයක්.
නත්තලට කඩ දානවා වගේ මංගල්ලෙට කඩ දානවා වගේ නෙවෙයි ප්‍රවාහනය කියන්නේ. කෝටි ගානක් වටිනවා.
ඒ නිසා අපි ව්‍යාපාරේ පැත්ත බලන්නත් ඕන.
ඒ කියලා ව්‍යාපාරිකයා මංකොල්ලයක් ලෙස කරොත් එහෙම ඒක ව්‍යාපාරයක් වෙන්නේ නෑ.
ඒ හේතුවෙන් මේ දෙයකට අදාළව යම් කාලයක් දෙමින් අපි පිළිවෙළක් කරන්න යනවා.
හැටන් නගරය අපේ රටේ ඉතාම වැදගත් නගරයක් වගේම ඉතාම වැදගත් දුම්රිය මධ්‍යස්ථානයක්.
ඒකේ විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා.
දුම්රිය ස්ථානය අසලම බස් නැවතුම් පොළක් ඉදිකරන්න පුළුවන් නම් බහුවිධ ප්‍රවාහන සේවයක් එක තැනකට අරගෙන යාම අප හිතනවා ජනතාවට ඉතාම විශාල සේවයක් වෙයි කියලා.
මේ අවුරුද්දේ අපි අයවැයට දාලා තියෙනවා එවැනි ස්ථාන 15ක් ගොඩනගන්න.
ලබන අවුරුද්දටත් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න එවැනි ස්ථාන 25ක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක්ම එකතු කරන්න වෙයි කියලා.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අපි පොරොන්දුවක් ලබාදුන්නා. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා.
අපි මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ.
වතු සමාගම් මේ වන විට විශාල ලාභයක් උපයනවා.
අපි ඒ අනුව වතු කම්කරුවන්ට පොරොන්දු වුණා රුපියල් 1700ක් ලබාදෙනවා කියලා.”