ලෝකවාසී මුළුමහත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(05) යෙදී තිබෙනවා.
බෝසත් චරිතයේ සිදු වූ වැදගත් සිදුවීම් තුන වන සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකදීයි.
බුදුරජාණන් වහන්සේ සුමේධ තාපස ආත්ම භවයේදී දීපංකර බුදු වහන්සේගෙන් නියත විවරණ ලබා ඇත්තේද වෙසක් පොහොය දිනයකදීයි.
එසේම සිදුහත් කුමාරයා දුටු සතර පෙර නිමිතිවලින් දෙවැන්න වන ලෙඩෙක් දැකීම සිදුව ඇත්තේද වෙසක් පොහෝ දිනක බවයි පතපොතෙහි සඳහන් වන්නේ.
බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් පොහෝ දිනකදීයි.
ඒ බුදු වහන්සේගේ තුන් වන ලංකාගමනයයි.
එම ගමනේදී සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයකි.
එසේම කිසාගෝතමි දේවිය විසින් නිබ්බුතා නූන සා මාතා යන නිබ්බුත පද පැවසීම, බුද්ධත්වයෙන් පසු පළමුවරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම සිදු කර ඇත්තේද වෙසක් පොහෝ දිනකදීයි.
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුන් වහන්සේ වෙත පැමිණි සක්දෙව් රඳුට ලංකාවත් සිංහල ජාතියත් රකින ලෙස පැවරීමත් සිදුව තිබෙන්නේද අද වෙසක් පොහෝ දිනකදීයි.
එසේම බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ස්මර්ණ සහ ස්මෘති ශක්තිය ඇත්තන් අතුරෙන් සහ වීර්ය ජාතීන් අතුරෙන් අගතැන්පත් ආනන්ද මහ රහතන්වහන්සේගේ පිරිනිවන් පෑම සිදුව ඇත්තේද වෙසක් පොහෝ දිනකදීයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන කල්හි විජය කුමරුන් ලංකාවට පැමිණි ඇත්තේද දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණ කොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතියාභිශේකය ලැබීමද සිදුව තිබෙන්නේ අද වැනි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීයි.
එසේම වෙසක් පොහෝ දිනයේදී සිදු වූ තවත් වැදගත් සිදුවීමකි අනුරාධපුර මහමෙව්නා උයනේ රුවන්වැලි සෑ රඳුන් සැදීම සඳහා විසා නැකතින් වැඩ ආරම්භ කිරීම.
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදු කිරීම කර ඇත්තේද වෙසක් පොහෝ දිනවලදීයි.
එසේම මහා විහාරවංශික භික්ෂුන් වහන්සේලා වර්ෂිකව පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය පළමුවරට සිදු කර ඇත්තේද වෙසක් පොහෝ දිනකදීයි.
වෙසක් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම වෙරෙහ විහාරස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කර ඇති බවයි වී නිව්ස් වාර්තාකරුවන් පවසන්නේ.
ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් එම සියලු පින්කම් සංවිධානය කර තිබෙනවා.
එසේම දිගු කළකට පසු මෙවර කොළඹ නගර පාදක කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසක් කලාප සංවිධානය කර තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපයේ වෙසක් උත්සවය නිසියාකාරයෙන් සැමරීමට සිංහල බෞද්ධ ජනතාවට අවස්ථාව උදා වූයේ නැහැ.