අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා .
ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීයි.
මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා..
අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නා හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවි දෙකෙන් එක් පදවියක පුරප්පාඩුවක් ඇති වුණා.
එලෙස පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවිය වෙනුවෙන් අස්ගිරි පාර්ශ්වයේ එවක හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් සහ මහියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ නම් යෝජනා වී තිබුණා.
පසුගිය අගෝස්තු 28 වැනිදා අස්ගිරි පාර්ශවයේ අනු නායක ධුරය සඳහා වූ නිලවරණය අස්ගිරි විහාරයේ මංගල උපෝසථාගාරයේදී පැවැත්වුණා.
ඒ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන්.
එහිදී කාරක සංඝ සභාවේ සාමාජික ස්වාමින් වහන්සේ 19 දෙනාගේ ඒකච්ඡන්දයෙන් අස්ගිරි පාර්ශ්වයේ එවක හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වුණා.
1981 වසරේ ජනවාරි මස 25 වැනි දා පැවිදි දිවියට පිවිසි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් උපසම්පදාව ලබා ගන්නේ 1986 වසරේ ජූනි මස 06 වැනිදායි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් සුපෝෂිතව , ශාසනික තනතුරු රැසක් දරමින් මෙරට සම්බුදු සසුනේ උන්නතියට අනුපමේය මෙහෙවරක් කළ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ධුරයක් මෙන්ම නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් ලෙස ඉටුකළ ශාසනික සේවාව අතිමහත් වනවා.
මෙහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු වුනා.
එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය නීති රීති සංශෝධනය සහ රැකවරණය ලබා දීම රජය විසින් සිදු කරන බවයි.
එමෙන්ම විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා රජය පියවර ගනිමින් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කලේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
පළමුව, මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා, මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී තිබුණා.