දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ නේවාසික රෝගීන්ට ඉඩ පහසුකම් අවම වීම නිසා රෝගීන් බොහෝ දෙනෙකුට පැදුරු එලාගෙන තැන තැන වාට්ටුවේ එලමහනේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇතැයි රෝගීන් පවසනවා.
මේ හේතුව නිසාවෙන් රෝගීන් මෙන්ම වාට්ටුවල සේවය කරන වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවයකට සහ මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඔවුන් පෙන්වා දෙනවා.
විශේෂයෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ අංක එක වාට්ටුව හදිසි ප්‍රතිකාර මෙන්ම තුවාල රෝගීන් සහ හදිසි අනතුරු වාට්ටුව බවත් එම වාට්ටුවේ මේ වන විට තුවාල රෝගීන් විශාල වශයෙන් බිම වැතිරී සිටින බවත් රෝගීන් පවසනවා.
දඹුල්ල නගරය දිවයිනේ ආර්ථික නගරයක් බවත් ඒ නමය සහ ඒ හය දිවයිනේ ප්‍රධාන මාර්ග දෙක එකම මාර්ගයක ගමන් කරන නගරය බවත් හදිසි රිය අනතුරු විශාල වශයෙන් දඹුල්ල රෝහලට තුවාලකරුවන් ගෙන එන බවත් වෛද්‍යවරුන් මෙන්ම රෝහල් සේවකයෝ පවසනවා.
එවැනි වූ අවස්ථාවක ප්‍රතිකාර කිරීමට දැඩි අපහසුතාවයකට පත්වනු ඇති බවද ඔවුහු පෙන්වා දෙනවා.
අද(17) දින පෙරවරුවේ අංක එක වාට්ටුවේ ඇඳන් 49 ක නේවාසික රෝගීන් 90 කට වැඩි පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් සේවකයෝ පවසනවා.
කෙසේ වෙතත් සියලු දෙනාටම ප්‍රතිකාර කිරීම දැඩි අපහසුතා මධ්‍යයේ සිදුකරගෙන යන බව ඔවුහු පෙන්වා දෙන්නේ.
පැදුරු කැබලිවල නිදාගෙන ප්‍රතිකාර ගන්න නේවාසික රෝගීන් සඳහන් කර සිටින්නේ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දැකගැනීමට හැකි වී තිබෙන බවයි.
හෙදි සොයුරියන් ප්‍රතිකාර කිරීමට යන අවස්ථාවේදී බස් කොන්දොස්තරවරුන් මෙන් කෑ ගැසීමට පවා සිදුව තිබෙන බවත් එම රෝහල් කාර්ය මණ්ඩලයට හොඳ මානසික මට්ටමකින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පවා නොහැකිවීම තමන්ට ද බලවත් කණගාටුවක් බව ඔවුහු පෙන්වා දෙනවා.
ඇතැම් රෝගීන් කකුල් කපා ලේ ලබා දෙන අවස්ථාවන්වල පවා පුටුවල වාඩි වී ප්‍රතිකාර කිරීම රෝහලේදී දැකගැනීමට හැකිවූ තවත් සිද්ධීන් කිහිපයකි.
මේ පිළිබඳව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරි වෛද්‍ය අරුණ කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ රෝහලේ ඉඩ ප්‍රමාණය අවම වීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි.
රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි පීඩනයකට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් කඩිනමින් නව රෝහලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර රජය ගෙන තිබෙන බවත් මේ වන විටත් එහි මුලික වැඩ කොටසක් අවසන් වී කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යැයි ද වෛද්‍ය අධිකාරීවරයා කියා සිටියා.
දඹුල්ල මූලික රෝහල සඳහා අනුරාධපුර,පොළොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්කවලින් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණීම නිසා දැඩි තදබදයක් බාහිර රෝගී අංශයේ සායන අංශයේ මෙන්ම රෝහලේ සෑම වාට්ටුවකම පවතින බව රෝහල් සේවකයෝ පෙන්වා දෙනවා.
නේවාසිකව ප්‍රතිකාර ලබා නිවෙස්වලට යන්නට සිටින අයටද බෙහෙත් ලියා නිවෙස්වලට පිටව යන්නට වී ඇත්තේ රාත්‍රී කාලයේ බව රෝගීන් නගන තවත් චෝදනාවකි.