අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ තෙදින සංචාරය වෙනුවෙන් ඊයේ දින ටෝකියෝවට පැමිණීමත් සමඟ ජපානය දැඩි ආරක්ෂක අවදානමක පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
ආරක්ෂාව අතිශය දැවැන්ත ලෙස ඉහළ දමා ඇති අතර, මෙම සංචාරය සඳහා දහ අට දහසක පොලිස් නිලධාරීන් සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව විශේෂඥ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් ද නිරතුරුව සේවයේ යොදවා තිබෙනවා.
පොලිසිය ජනාධිපතිවරයාගේ සංචාරය වෙනුවෙන් විශේෂිත ආරක්ෂක මූලස්ථානයක් ද පිහිටුවා තිබීම විශේෂත්වයක්.
විශ්ලේෂකයන් පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා මීට පෙර ඇමරිකාවේදී ඝාතන උත්සාහයන් දෙකකට ඉලක්ක වී ඇති බැවින් මෙවැනි ඉහළ මට්ටමේ ආරක්ෂාවක් අවශ්‍ය බවයි.
2024 ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේදී ඔහුට වෙඩි තැබීමට උත්සාහයක් ගෙන තිබුණා.
ඒ අනුව හුදකලා ප්‍රහාරකයන් පිළිබඳ අවදානම ප්‍රධාන ලෙස අවධානයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම පුද්ගලයන් සංවිධානාත්මක කණ්ඩායම්වල කොටසක් නොවන බැවින් ඔවුන්ගේ අරමුණු පුරෝකථනය කිරීම සහ වළක්වා ගැනීම අතිශය දුෂ්කර වී තිබෙනවා.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැවසෙන ස්ථානවලට ආසන්නව පිහිටි ගොඩනැගිලි සහ ඉහළ ස්ථාන පිළිබඳව ජපන් පොලිසිය දැඩි අවධානයක් යොමු කර තිබුණා.
ප්‍රහාර සඳහා භාවිතා කළ හැකි ඩ්‍රෝන යානා අක්‍රිය කළ හැකි උපකරණ ද යොදවා තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
තුවක්කු ඇති ප්‍රහාරකයන් සමඟ කටයුතු කිරීම සඳහා සන්නද්ධ වේගවත් ප්‍රතිචාර ඒකකයක් යොදවා තිබෙනවා.
ජනාධිපතිවරයා ටෝකියෝවට පැමිණීමට පෙර සිකුරාදා දින අමෙරිකානු තානාපති කාර්යාලය පිටත සිටි පොලිස් නිලධාරියෙකුට පිහියකින් පහර දීමට උත්සාහ කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.
විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ, ට්‍රම්ප් ජනාධිපතිවරයාට යම් හානියක් සිදු වුවහොත් එය ජපානයේ වැදගත්ම ආරක්ෂක සහකරු සමඟ ඇති සබඳතාව විනාශ වනු ඇති බවයි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා බදාදා දින දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව සඳහා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.





 


 







 
								