පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වූ බස් රථයේ වටිනාකමකට වඩා බස් රථයේ මෝස්තර සඳහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද(12) කියා සිටියා.
බස් රථ අනතුරේ විමර්ශන කටයුතු සඳහා තමන්ද සහභාගි වූ බවත් එහිදී බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරීමේදී බස් රථය ලක්ෂ 55කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සඳහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කළ බව අනාවරණ වූ බවයි.
විනෝද චාරිකා සඳහා යන පිරිස්වලින් මෝස්තර බස් රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සඳහා මෝස්තර යොදා බස් රථය අලංකාර කළ බවද අයිතිකරු විසින් පැවසූ බවයි ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.
බස් රථයේ මෝස්තර සඳහා විශාල මුදලක් වැය කර තිබුණද බස් රථය නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරීක්ෂණවලදී අනාවරණ වූ බවත් බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.
අධික බෑම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගටම ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරීමේදී වාහනවල රෝදවල ඩ්‍රම් කොටස රත්වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද ජාලිය බණ්ඩාර මහතා කියා සිටියා.
සංචාරයක් සඳහා යාමට පළමුව තමන් තෝරා ගන්නා වාහනය ආරක්ෂාව සම්බන්ධයෙන් විහේෂ අවධානය යොමු කර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පළපුරුද්ද පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙයසි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂකවරයා සංචාරයන් සඳහා යාමට අදහස් කරන පිරිසගෙන් ඉල්ලා සිටින්නේ.