එළැඹෙන ශ්‍රීපාද වන්දනා සමයේ නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ වනජීවි කලාපය තුළ පිහිටි වෙළෙඳ සැල් හයක් සහ වැසිකිලි පහක් මාස හයක කාලයක් පවත්වාගෙන යාමට ටෙන්ඩර් පත් කැඳවීමෙන් වනජීවි දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂයක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන අඩවි ආරක්ෂක ආර්.එම්.ටී.බී. රත්නායක මහතා පවසනවා.
සෑම වසරකම ශ්‍රීපාද වන්දනා සමයේදී තම කලාපය තුළ පිහිටි වෙළෙඳ සැල් සහ වැසිකිලි පද්ධතිය පවත්වාගෙන යාමට ටෙන්ඩර්පත් කැඳවන බවත් ඉකුත් වසර කිහිපයකට සමගාමීව මෙවර ටෙන්ඩර් පත් මිලදී ගැනීමට විශාල පිරිසක් එක්වීම නිසා දැඩි තරගයක් පැවැති බවයි වන අඩවි ආරක්ෂක නිලධාරියා කියා සිටියේ.
ඉදිකරන සෑම වෙළෙඳ සැලකටම අවශ්‍ය අමුද්‍රව්‍ය පිටතින් රැගෙන ආ යුතු බවත් රක්ෂිතයෙන් කිසිදු ගසක් හෝ අතු කැපීම සපුරා තහනම් බවත් වෙළෙඳ සැල්වල වතුර ලීටරයට ඉහළි වූ වතුර බෝතල් පමණක් අලෙවි කරන ලෙසටත් ලීටර් බාගයේ වතුර බෝතල් සහ පැණි බීම බෝතල් අලෙවි නොකරන ලෙසටත් දැඩි කොන්දේසි පැනවූ බවයි රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
තවද එම වෙළෙඳසැල්වල ඉවතලන ප්ලාස්ටික් පොලිතින් සහ නොදිරණ ඝණ අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහරින ලෙසටත් විශේෂයෙන් සීතගගුලේ සිට ඉදිකටු පහණ දක්වා ජල නළ යොදා වන්දනාකරුවන්ට නොමිලේ ලබාදී ඇති පානීය ජල යෝජනා ක්‍රමයට කිසිදු හානියක් සිදු නෙකරන ලෙසටත් එසේ සිදු කරන ඇති බවට තහවුරු වුවහොත් තාවකාලිකව ටෙන්ඩර්පත් ලබාගත් වෙළෙඳ සැල්වල බලපත්‍ර අවලංගු කරන බවටත් වෙළෙඳ සැල් මිලදී ගත් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදුන් බවයි ආර්.එම්.ටී.බී. රත්නායක මහතා කියා සිටියේ.
ශ්‍රීපාද වන්දනා සමය අවසන්වන තෙක් ලබාදුන් ඇප කොන්දේසි නිසියාකාරව පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් තම කාර්යාලයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්‍ෂණය කරන බවද නල්ලතන්නි වනජීවි කාර්යාලයේ වන අඩවි ආරක්ෂක ආර්.එම්.ටී.බී. රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.










