මහනුවර යාපනයA9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ A9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වවුනියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරින් කැබ් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ කාන්තාවන් දස දෙනෙක් පිරිමි පුද්ගලයන් හත් දෙනෙක් සහ ළමුන් පස් දෙනෙක් ඇතුළු පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම්හි පදිංචිව සිටි වයස අවුරුදු 38ක් පමණ වන පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 29ක් පමණ වූ කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.
මෘත දේහයන් වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඕමන්ත පොලිසියේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.