
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වීමට නියමිතයි. මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත ද තැපැල් කර ඇති බව ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළා. විභාග ශාලාවට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පවසනවා.
ඇය සඳහන් කර සිටියේ ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් එය නැවත භාගත කර ගැනීමේ හැකියාව පවතින බවයි. විභාගය සඳහා අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් භාවිත කළ හැකි බවද ඒ මහත්මිය අවධාරණය කළා. ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පත සඳහා භාවිත කරන ඡායාරූප දෙකක් පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවා ද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවා ද සහතික කරවාගත යුතු වනවා. විභාග කාලසටහන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම් දී ඇත්තේ.
එසේම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වනවා. එමෙන්ම යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි ඇය වැඩිදුරටත් සදහන් කලේ.














