වෙඩි තැබීමේ සිද්ධි දෙකකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිස් වසමේදී සහ නිකවැරටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ඊයේ අළුයම අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එක් සැකකරුවෙකු පසුගිය ජුනි මස 30 වැනිදා රාත්‍රී කාලයේ කහවත්ත පොලිස් වසමේ යා ඉන්න ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීප් රථයකින් පැමිණි පොලිස් නිලධාරින් යැයි පැවසූ පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇන්දාන පාරේ පාලු ස්ථානයකට රැගෙන ගොස් එක් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථායේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ ජංගම දුරකථන දෙකක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර පසුගිය අට වැනිදා රාත්‍රියේ බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සම්බන්ධයෙන් කොළඹ, මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කෙරුණා.
ඒ අනුව විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඉහත වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය පැද වූ පැදිකරු සහ අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදිය ඊයේ දිනදී නිකවැරටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.