රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කරන බවත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු සහගත තත්ත්වයක් පවතින බවයි.
මේ වන තෙක් රෝහලෙන් රෝගියාට ලබා දෙන ආහාර වේල පිළිබඳව රෝගියා තෘප්තිමත් ද නැද්ද යන්න පිළිබඳව විමසීමක්වත් නොකරන තත්ත්වකට එම සේවාව පත්ව ඇති බව ද අවධාරණය කළ අමාත්‍යවරයා රෝහලෙන් ලබා දෙන වර්තමාන ආහාරවේල පිළිබඳවත්, එය රෝගියාට ලබා දෙන ක්‍රමයේත් වෙනසක් ඇති කළයුතු බවද සඳහන් කළා.
මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බවයි.