මැදින් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද(02) දිනයේ ගෞතම ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසියේ නිලධාරීන් පවසනවා.
මැදින් පුර පසළොස්වක පොහෝදා ශ්‍රී පාද උඩමළුවේ ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධීශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා පින්කම් රැසක් පැවැත්වෙනවා.
එලෙස පැමිණි වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ සීත ගගුලේ සිට උඩමළුව දක්වාම දිගු පෝලිම්වල පැය ගණනක් රැඳී සිටී අතර ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රී පාද පද්මය කරුණා කිරීමට නොහැකිව ආපසු පහළ බැස තිබෙනවා.
ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කිරීමෙන් පසු හැටන් මාර්ගය ඔස්සේ පැමිණි වැඩිම වන්දනාකරුවන් පිරිස ඊයේ(01) දින පැමිණි බවත් ශ්‍රීපාද රත්නපුර මාර්ගය ඔස්සේද විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාද උඩමළුව දක්වා කරුණා කළ නිසා මෙම තදබදය ඇති වූ බවත් පොලිස් නිලධාරීන් පවසනවා.
වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියලුම රථ ගාල්වල ගාල්කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් දක්වා කිලෝමීටර් හයක් පමණ දුරට මාර්ගය දෙපස ගාල්කර තිබෙනවා.













