
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 28ක සිට 38ක් දක්වා පුළුල් කිරීමට නියමිතයි මේ අතර පූජා නගරය තුළ දුම් පිටවන ඩීසල් වාහන සීමා කර, ඒ වෙනුවට විද්‍යුත් බස් රථ යොදා ගනිමින් නගර සභාව යටතේ ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. බැතිමතුන් සඳහා පදික මංතීරු, පාපැදි මංතීරු සහ දුම්රිය හා බස්වලින් පැමිණෙන පිරිස් වෙනුවෙන් සිසිල් පරිසරයක් සහිත විවේක ස්ථාන සකස් කිරීම සිදු කෙරෙනවා.














