මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොලිස්පතිවරයා වෙත ලද තොරතුරකට අනුව පොලිස්පතිවරයා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට යොමු කරන ලද පැමිණිල්ලක් මත ෆර්ගියුෂන් පාර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව එම කොට්ඨාසය විසින් විමර්ශ ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව මෙම සැකකාර කාන්තාව ස්මබන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබලදීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී ඇය විසින් නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද පහත සඳහන් දේපළ හා වත්කම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඔක්තෝබර් පළමුවන දින මීගමුව හා කොළඹ මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග දීර්ඝ කර තිබෙනවා.
එම දේපල වන්නේ ජාඇල ප්‍රදේශයේ ලක්ෂ 14ක් වටිනා පර්චස් 8.66ක ඉඩම සහ බැංකු ගිණුම් හයක ගිණුම් ගත කර තිබූ රුපියල් ලක්ෂ 59ක මුදල් වේ.
තවද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පහත සඳහන් දේපළ ඔක්තෝබර් 01 වනදා සිට දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර එම නියමය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව බලාත්මක කර දීර්ඝ කර ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
එම දේපළ වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225ක් වටිනා කඩ කාමර තුනක්, එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා කඩ කාමරයක් සහ එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා තෙමහල් නිවස සහිත ඉඩමක් වේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.