කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගෙන් ස්වභාවික මිනිස් හිස කෙස් ග්‍රෑම් 390ක් මිලදී ගෙන ඒ සඳහා ගෙවිය යුතු මුදල වන රුපියල් ලක්ෂයක මුදලට අගරු චෙක් පතක් දී දැනට සැඟවී සිටින කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධව එම ව්‍යාපාරික කාන්තාව විසින් කිරිබත්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට ඇයගේ බැංකු ගිණුම් පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද ලබා ගෙන තිබේ.
මේ ව්‍යාපාරික කාන්තාව සෑහෙන කාලයක සිට එම සැකකාර කාන්තාව හඳුනාගෙන සිට ඇති අතර ඒ අවසරයෙන් ඇයගෙන් එම සැකකාර කාන්තාව වරින් වර ස්වාභාවික හිස කෙස් මිලදී ගෙන ඇත.
මේ අනුව මෙවර ව්‍යාපාරික කාන්තාවගෙන් සැකකාර කාන්තාව රුපියල් එක් ලක්ෂ පනස් තුන් දහස් නවසිය පනහක් වටිනා ස්වභාවික මිනිස් හිසකෙස් ග්‍රෑම් 390 ක් මිලදී ගෙන මුදලින් රුපියල් පනස් තුන් දහස් නවසිය පනහක් දී හිඟ මුදල සඳහා රුපියල් ලක්ෂයක චෙක් පතක් දී තිබේ.
පසුව එම ව්‍යාපාරික කාන්තාව විසින් එම චෙක් පත මුදල් කර ගැනීමට බැංකු ශාඛාවට රැගෙන ගිය අවස්ථාවේ එම චෙක්පත අගරු චෙක් පතක් බවට හෙළිවී ඇත. ඉන් පසුව සැකකාර කාන්තාවගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබෙන අතර ඇය සොයා ගැනීමට ද නොහැකි වී ඇත. ඇය මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව සඳහන්ය.
මේ සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඕ. පී. අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි විවිධ පැමිණිලි විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක තිලකසිරි මහතා වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යයි. නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90071), කුලසිංහ (10789) හා අලුත්ගේ (100478) යන නිලධාරීන් විසින් මෙය අධිකරණයට වාර්තා කර තිබිණි.