බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි සහ ඇස්කිසි ක්‍රියාකාරුවෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ නඩු වාර්තාවක පිටපතක් ලබාදීමට අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මතයි.
අදාළ අධිකරණ නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.
ඉඩම් භුක්තිය සම්බන්ධව ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලිකරුවෙකු විසින් පෞද්ගලිකව පවරන ලද නඩුවකට අදාළ තීන්දු පැමිණිලිකරුට අවාසි ලෙස ලැබී තිබෙනවා.
පසුව අදාළ සිද්ධිය සමිබන්ධයෙන් නැවත මහාධිකරණයේ අභියාචනය කිරීම සඳහා නීතිඥවරයාගේ උපදෙස් පරිදි ඉහත නඩුවට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබාදීමට රජයේ ගාස්තුවට අමතරව අල්ලස් මුදලක් ලෙස රුපියල් පන්දහසක මුදලක් ලබාගැනීම අදාළ නිලධාරියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.