
ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ සෞදි අරාබියේ සේවය කරමින් සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි සිවරාජා අනෝජන් නමැති තරුණයෙකු වෙතයි.
ඔහු ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ප්‍රකාශ කළේ, රජයේ මැදිහත් වීමෙන් සිදුකළ අභියාචනයකදී එම දඬුවම, මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවයි. මේ අතර, දඬුවම් නියම වූ සිවරාජා අනෝජන්ගේ මව තම පුතු මරණ දඬුවමින් මුදාගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ එක්ව ඉදිරි කටයුතු සිදු කරන බවත්, සිවරාජා අනෝජන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.














