සිංහරාජය හරහා පාරක් ඉදිකිරීමට එරෙහි පෙත්සම විභාගයට අභියාචනාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීම, නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබුනා.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව, එය ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවට තීන්දු කලා.
විනිසුරුවරයා ඉන් අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියම කර තිබෙනවා.
ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන සිංහරාජ සංරක්ෂිත වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කලේ.
සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ නීතියට පටහැනි ලෙස දේශපාලකයින් හා ඔවුන්ගේ හිතවාදීන්ගේ හෝටල් ඉදිකර තිබෙන බවත්, ඒවාට ගමන් පහසුකම් සැලසීමේ අරමුණින් මෙවැනි මාර්ගයක් ඉදිකර තිබෙන බවටත් චෝදනා එල්ල වී තිබෙන බවත් නීතිඥවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.