
සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ අරමුදල් පිළිබඳ තොරතුරු වාර්තා විගණනයට ඉදිරිපත් කිරීම කාලයක් තිස්සේ පැහැර හැර ඇති බව අනාවරණය වී තිබෙනවා . ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙනවා. සමෘද්ධි සංවර්ධන අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරියේ නිශ්චල චංචල දේපළ සමෘද්ධි දෙපාර්තමේන්තුවට පවරාගෙන එම අරමුදල් වල ශේෂයන්ද ක්ෂුද්‍ර මූල්‍ය අංශය යටතේ රඳවා ගෙන සිටින බව විගණන වාර්තාව සඳහන් කරනවා. මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 13ක් ගත වී ඇතත් ඒකාබද්ධ අරමුදලේ මුදල් මාරු කිරීම් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොමැති බවටයි නිරීක්ෂණය වී ඇත්තේ . ඒ අනුව සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රාජ්‍ය මුදල් අවභාවිතාවක්වී ඇත්දැයි සොයා ගත නොහැකිව ඇති බවද විගණන අංශ පවසනවා. තවද මෙම මුදල් රාජ්‍ය මූල්‍ය පාලනයෙන් බැහැර වී තිබූ බවද විගණන වාර්තාවේ දැක්වෙනවා. මේ අතර කිසියම් අරමුදලක වාර්ෂික අයවැය ලේඛන භාණ්ඩාගාරයෙන් අනුමත කරගත යුතු වනවා කෙසේ වෙතත් සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ වන බැංකු මූල්‍ය අංශය සතු අරමුදල් කිසිදු අනුමැතියකින් තොරව ඇස්තමේන්තු සකසා වියදම් කර ඇති බවයි හෙළිව ඇත්තේ. අනුමැතියකින් තොරව සිදුකර ඇති වියදම් කිසිවක් නිත්‍යානුකූල නොවන බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා.














