ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය පවසනවා.
එසේම කොළඹ පවත්වාගෙන යන සම්බාහන ආයතනවල (ස්පා) වැඩි වශයෙන් සේවය කරන්නේ ද උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තරුණියන් සහ කාන්තාවන් බවද සභාපතිවරිය වැඩිදුරටත් කියා සිටියා.
සභාපතිවරිය මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවැති මාධ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනකට ආරාධිත දේශනයක් පවත්වමිනි.
නීතිය පිළිනොගන්නා ලිංගික සම්බන්ධතා රටේ වියළි කලාපය තුළ ඉහළ මට්ටමක පවතින බවයි ඇය කියා සිටියේ.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවුරුදු 14, 15, 16 තරම් අඩු වයසේ තරුණියන් වයස අවුරුදු 45, 50 වයස්ගත පිරිමින් සමඟ ජීවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව පොළොන්නරුව ප්‍රදේශයේ කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇති බවයි සභාපතිවරිය එහෙදී පෙන්වා දුන්නේ.
මෙවැනි සම්බන්ධතා හේතුවෙන් උපදින දරුවන්ට උප්පැන්න ලබාදීමේ ගැටලු මතු වී ඇති බවද ඇය ප්‍රකාශ කළා.
මවට අවුරුදු 15ක් සහ පියාට අවුරුදු 13ක් වන ළාබාල විවාහයක් ද කුරුණෑගලින් හමු වූ බව උදාහරණයක් ලෙස ඇය පෙන්වා දුන්නා.
දරුවා ප්‍රසූත කළ පසු එම ගැහැනු ළමයාට නැවත පාසල් යාමට නොහැකි වී ඇති බවත් ඇය එතැනින් පසු ”අවලංගු කාසියක්” බවට පත්වන බවත් ඇය අදාළ වැඩසටහනේදී පෙන්වා දුන්නා.
Source : Aruna News Paper













