හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .
අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
හෝකන්දර පිහිටි නිවසේදී ඊයේ පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ 2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදුන් බවට වූ සිද්ධියට අදාළවයි.
මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පතක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර මහත්මිය ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ නීතියට ගරු කරනු ලබන පුද්ගලයෙකු ඉදිරිපත් කරන අපේක්ෂිත ඇපයක් සලකා බැලීමේ හැකියාවක් අධිකරණයට ඇතත් අධිකරණයේ මගහැර සිටින දේශබන්දු තෙන්නකෝන් වැනි සැකකරුවෙකු ඉල්ලා සිටින ඇප ඉල්ලීම සලකා බැලීමට තම අධිකරණයට නොහැකි බවයි.
තමන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින බව දැනුවත්ව අධිකරණය මගහැර සිටීම යුක්ති ගරුක පුද්ගලයෙකු ලෙස සිදු නොකළ යුත්තක් බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කළා.