සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සැකකරුවන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් සැකකරුවෙක් මියගොස් තිබෙනවා.
වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි හුවමාරුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වෙඩි හුවමාරුව අතරතුරු සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.
අදාළ ස්ථානයෙහි සැකකරුවන් දෙදෙනෙක් රැඳී සිට ඇති බවටත් ඉන් එක් අයෙක් මෙලෙස අත්බෝම්බ ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවත් වාර්තා වනවා.
වෙඩි වැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු බවට පොලිසිය සැක පළ කරන අතර මෙලෙස මියගොස් ඇත්තේ මග්ගොන ප්‍රදේශයේ පදිංචි දොන් කෝසල හෙවත් බේරුවන කෝසල නමැත්තෙකි.
පොලිසිය සැක පළ කරන්නේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂන මධ්‍යස්ථානයක් තුළදී එහි හිමිකරුගේ පුතා වන අරුණු මෙන්ඩිස් නමැත්තාට වෙඩි තබා ඝාතන කළ වෙඩික්කරු බවටයි.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට වැවේගම කැළෑබද ප්‍රදේශයට ගොස් ඇත්තේ සැකකරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවයි.
පොලිසිය කියා සිටියේ අද(22) අලුයම් කාලයේදී මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එහිදී පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවයි.
එහිදී සිදු කරන ලද වෙඩි තැබීමේදී සැකකරු මියගොස් ඇති අතර තවත් සැකකරුවෙක් පළා ගොස් තිබෙනවා.