සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමින්.
ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
සියලු ජාතීන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර ඒ හා සම්බන්ධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා දින ජාතික වැඩසටහන සංවිධානය කෙරෙනවා.
දේශපාලනික, ආගමික සහ සංස්කෘතික විවිධත්වයෙන් ඔබ්බට, පොදු වේදිකාවක සියලුදෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි මෙම වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී සංවිධායක මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ.












