
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල කළහොත්, මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගරය සහ ඉන් ඔබ්බට පුළුල් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මේජර් ජෙනරාල් යාහ්යා රහීම් සෆාවි විසින්. මේවන විට ඉරානය සමඟ යුද ගැටුම පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට රතු මුහුද දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් යුද්ධයක් ඇති වුවහොත් මෙම යුධ පෙරමුණ ඉන්දියානු සාගරය දක්වා හෝ වෙනත් ප්‍රදේශ දක්වා පුළුල් වීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ . යුද්ධය ඉන්දියානු සාගරය දක්වා ව්‍යාප්ත වීම ගෝලීය නාවික ගමනාගමනයට, බලශක්ති සැපයුම්වලට සහ විශේෂයෙන්ම ආසියාතික රටවල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. මේ අතර, ඕමාන වෙරළ තීරය ආසන්නයේදී ඇන්ටිගුවා ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් 26 හැවිරිදි ඉන්දීය නාවිකයෙකු මියගොස් ඇති අතර, තවත් නාවිකයින් 19 දෙනෙකු ඕමාන රාජකීය නාවික හමුදාව විසින් බේරාගෙන ඇති බව සඳහන්.














