වර්ල්ඩ් චම්පියන්ශිප් ඔෆ් ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ, ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන්.
මෙම තරගය බර්මින්හැම්හීදී අද පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන්දියාව එම තරගයෙන් ඉවත් වීමත් සමග නිතරගයෙන් ජය හිමි වූයේ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමටයි .
ඒ අනුව පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු චැම්පියන්ස් සහ දකුණු අප්‍රිකානු චැම්පියන්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා සමඟ අවසන් තරගයේදී තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 02 වනදා බර්මින්හැම්හීදී පැවැත්වෙනු ඇති.
ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම යුවරාජ් සිං, සුරේෂ් රයිනා, හර්බජාන් සිං, පීයුෂ් චවුලා, යුසුෆ් පතාන්, රොබින් උතාපා වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි.
එම කණ්ඩායම ජූලි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමට එරෙහි මූලික වටයේ තරගයට ද ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.
එම අවස්ථාවේදී කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු සමව බෙදී ගියා.
මූලික අදියරේදී ප්‍රසාද ලකුණු 9ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණේ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමයි. ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු තුනක් ලබා සිව්වන ස්ථානය හිමි කර ගත්තා.
ඒ අනුව එම කණ්ඩායම් දෙක පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා
කෙසේ වෙතත් , ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමත් සමඟ පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීම පදනම් කර ගනිමින් පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටයි සමත් වුනේ.
අදාළ අවසන් පූර්ව තරගය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට 50% ක මුදල් ආපසු ගෙවීමක් සිදු කරන බව තරග සංවිධායකයින් පවසනවා.