කලාපය තුළ පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස 3කින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ පීබා ආයතනය හෙවත් එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ 2025.06.12 දිනට පසු අවසන් වන B/1 වීසා කාණ්ඩයට අයත් සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් 2025.09.30 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
මේ වන විට 20,000 ක පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ඊශ්‍රායල් රාජ්‍යයේ සේවයේ නිරත ව සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවධානයෙන් සිටිනවා.
ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමටද රජය සූදානමින් සිටින අතර, දැනටමත් ශ්‍රී ලංකාවට යාමට ඉල්ලුම් කර ඇති ශ්‍රමිකයින් වෙනත් රාජ්‍යයන් හරහා හෝ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.