සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.
වී නිව්ස් ගුවන් තොටුපොල වාර්තාකරු කියා සිටියේ එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු පහරදීම සම්බන්ධයෙන් අද (26) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මොහු 28 හැවිරිදි සෞදි අරාබි ජාතිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැන් සිට මැලේසියාවට යාම සඳහා මෙම ගුවන් යානයෙහි ගමන් කර තිබෙනවා.
ඔවුන් අද (26) දින උදෑසන 06.32 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සූදානම් වෙමින් සිටියදී, ගුවන් යානය තුළ සියලුම ගුවන් මගීන් තම ආසන තුළ ආසන පටි පළදා ගෙන අසුන් ගෙන සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර, එම නීතිය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා පමණක් වැසිකිළිය වෙත ගමන් කිරීමට තැත් කරත්දී මෙම ගැටුම හටගෙන ඇති බවයි කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ.
ගුවන් සේවිකාවන් විසින් මේ පිළිබද ගුවන් යානයෙහි නියමුවා දැනුවත් කිරීමෙන් පසුව, ගුවන් යානය ගොඩ බැස්සවීමෙන් අනතුරුව, ගුවන් යානය අසළට පැමිණි පොලිස් නිලධාරීන් මෙම සෞදි අරාබි ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලීසිය ඒකාබද්ධව මොහු අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.
මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ උඩු ගුවනේ දී සිදු වී ඇති බැවින් මෙම සෞදි අරාබි ජාතිකයා හෙට (27) දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













