නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී.
සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක් තබමින් අති විශාල බහුතරයක්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාදෙමින් නව රජය බලයට පත් කරන ලද්දේ රට ඉදිරියට ගෙනයාමට බවත්, ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය එම වගකීම ඉතා ඉහළින්ම ඉෂ්ඨ කරන බවත් ජනතාවට පොරොන්දු වන බවයි.
ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය අද උදෑසන පැවැති පළමු කැබිනට් රැස්වීමේ දී තමන්ව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බවද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉතා බාරදූර හා වගකීම් සම්පන්න අමාත්‍යාංශයන් බවද එම අමාත්‍යාංශයන්හි කාර්ය සාධන කටයුතු ඉතා ඉහළින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙරට සෞඛ්‍ය සේවාව වසර ගණනාවක ඉතිහාසය තුල ලෝකයේ කීර්තියක් උපයාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල කැපකිරීමක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, එනමුත් අප දකුණු ආසියාවේ සහ ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් උපයාගෙන තිබුන කීර්ති නාමය මෙන්ම සෞඛ්‍ය සේවාව පිළිබද ජනතාවගේ විශ්වාසය පසුගිය කාලය තුල දුෂිත දේශපාලනය විසින් විනාශයට පත් කර ඇති බවද පැවසීය. තමන්ට පැවැරී ඇති ප්‍රධානතම වගකීම සහ අභියෝගය සෞඛ්‍ය සේවාව පිළිබදව ජනතාවගේ විශ්වාසය යළි ප්‍රතිශ්ථාපනය කිරිම සහ සෙඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිරූපය නැවත නගා සිටුවීම බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.