විල්පත්තු ජාතික උද්‍යානය තුළ නීති විරෝධී ලෙස රැඳී සිටිමින් වනසතුන් දඩයම් කිරීමේ නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උද්‍යානයේ තෙල්බීපුවැව ප්‍රදේශයේ තාවකාලික කූඩාරම් ඉදිකරගෙන මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
පසුගිය 14 වනදා සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අනුක්‍රමික අංක මකා දමන ලද බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කුවක්, නොම්මර 12 සහ 04 (ීඨ) වර්ගයේ සජීවී පතුරම් 08ක් සහ හිස් පතුරම් කොපු 14ක් ඇතුළු නඩු භාණ්ඩ 22ක් සොයාගෙන තිබෙනවා.
වනජීවී නිලධාරීන් භාරයට ගත් භාණ්ඩ අතර දඩයම් කරන ලද ආරක්ෂිත ක්ෂීරපායී සතෙකු වන තිත් මුවෙකුගේ මස් කිලෝග්‍රෑම් 66ක් සහ වල් ඌරෙකුගේ මස් කිලෝග්‍රෑම් 18.3ක් ද තිබී තිබෙනවා.
වැටලීම සිදුවන අවස්ථාවේදී තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ජනවාරි 16 වන දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන ජනවාරි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
විල්පත්තු ජාතික උද්‍යාන භාරකරු ආර්.ඒ.ඩී.ඩී.ඩී. සමරනායක මහතාගේ උපදෙස් පරිදි, කලාඔය අඩවියේ වනසත්ව අඩවි ආරක්ෂක කේ.එච්.ඩී. සඳරුවන්, වනසත්ව නියාමක ආර්.එම්.සී.සී. රත්නායක, ක්ෂේත්‍ර සහයක එස්.එම්.පී.කේ. සේමසිංහ, ජී.එස්.පී. ගුණවර්ධන සහ සිවිල් ආරක්ෂක උප නියාමක ටී.ජී.කේ.එන්. දර්ශන යන නිලධාරීහු මෙම සාර්ථක වැටලීම සිදු කර තිබෙනවා.













