හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාතංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඔහු විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධවයි.
එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව විමල් වීරවංශ මහතාගෙන් එම කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පහත සඳහන් ආකාරයට පිළිතුරු ලබා දුන් බවත් එම නිවේදනයේ දක්වා තිබුණා.
බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවත් විමල් වීරවංශ මහතා එහිදී ප්‍රකාශ කර තිබුණා.
මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත බවයි එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ.
එහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවයි.
ඒ අනුව පසුගිය 2 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැහැ.
එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නාවූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබුනා.