ලාංකේය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 37ක් සපිරෙනවා.
ඔහුගේ 37 වැනි ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී අද සිදුකෙරුණා.
1945 ඔක්තෝබර් මස 09 වැනි දින උපත ලද විජය කුමාරතුංග සිනමාවට පිවිසෙන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙන්.
තුෂාරා , ආදරේ හිතෙනවා දැක්කම , හතරදෙනාම සූරයෝ , අහස් ගව්ව , ගඟ අද්දර, පාර දිගේ , මහ ගෙදර , කැඩපතක ඡායා , නොම්බර දහ හත ආදී චිත්‍රපට 114 කට රංගනයෙන් දායක වූ විජය 1983 සිට 1988 දක්වා වසර පහක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
ගායකයකු ලෙසද දක්ෂතා ප්‍රකට කළ විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතර පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මුල්වී ක්‍රියාකළා.