අද(18) පස්වරු හයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව උඩුදුම්බරට මිලිමීටර් 308ක්, පොප්පිටියට මිලිමීටර් 234ක්, නුගතැන්නට මිලිමීටර් 221ක්, කයිකාවලට මිලිමීටර් 218 සහ පල්ලෙවෙලට මිලිමීටර් 178ක දැඩි වැසි පතිත වී තිබෙනවා.
මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග මහනුවර මහාමාය බාලිකා විද්‍යාලයට ඉහළින් ඇති රජපිහිල්ල මාවත ස්ථාන කිහිපයකින් නායයාමට ලක්ව ඇති බැවින් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා විදුහල දින නියමකින් තොරව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
එම විද්‍යාලයේ විදුහල්පතිනි ශෂිකලා සේනාධීර මහත්මිය කියා සිටියේ පාසල පසුගිය 16 වනදා ආරම්භ කළ බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් රජපිහිල්ල මාවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව පාසලට ඉහළින් ඇති කොටසේ නායයාමේ අවදානමක් පවතින බව දැනුම් දුන් බවයි.
මහාමාය බාලිකාවට ඉහළින් රජපිහිල්ල මාවත දක්වා ඇති කඳු සහිත කොටසේ හෝටල් සහ නිවාස ගණනාවක් ඇති බවත් යම් හේතුවකින් නායයාමක් සිදුවුවහොත් ඒවාද පාසලේ ගොඩනැගිලි මතට කඩාවැටීමේ දැඩි අවදානම්ක පවතින බවයි වාර්තා වන්නේ.













