දිට්වා සුළි කුණාටුවෙන් යලි පිබිඳීමට රජය විසින් ආරම්භ කර ඇති රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල සඳහා රුපියල් 108,000ක මුදල් තැන්පත් කර එය නිල වශයෙන් වතු කම්කරුවන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය වෙත අද(27) බාරදී තිබෙනවා.
බගවන්තලාව වැවිලි සමාගමට අයත් බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී. කොටසේ පදිංචි වතු කම්කරුවන් විසින් ඔවුන්ගේ දෛනික එක් දින වැටුපෙන් සහ එම වතු කම්කරුවන්ගේ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින දරුවන්ගේ වැටුපෙන් ලබාදුන් මුදල් එක්රැස් කර මෙලෙස රුපියල් 108,000ක මුදලක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල වෙත බැර කර එය නිළ වශයෙන් වතු කම්කරුවන් විසින් එම වතුයායේ පිහිටි කෝවිලේදේ සංඛේතාත්මකව භාරදී තිබෙනවා.
මෙම මුදල් පරිත්‍යාගය ලබාගත් ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ මෙම අරමුදලට දිවයිනේ විශාල පිරිසක් මේ වන විට මුදල් පරිත්‍යාග කරන බවත් ඒ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායත මහතා සහ රජය කෙරෙහි විශ්වාසය තබා දෛනික වැටුපක් ලබාගෙන ජීවනෝපාය සිදුකරගෙන යන වතු කම්කරුවන් විසින් ලබාදුන් මෙම මුදල ඉතා අගය කොට භාරගන්නා බවයි.
එම මුදල රී බිල්ඩ් අරමුදල හරහා යළි රටට නගා සිටුවීමට නිසි ලෙස අවශ්‍ය කටයුතු සඳහා බැර කරන බවයි මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ.
මෙහිදී අදහස් දැක්වූ වතු කම්කරුවන් කියා සිටියේ ආපදාවට පත් ජනතාවටද තමන්ට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදුන් බවත් මීට අමතරව සියලු දෙනා එක්වී මෙම මුදල රජයට ලබාදෙන බවයි.













