එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා.
“සපෝර්ටින්ග් ෆොර් ලාස්ටින් පීස් ඉන් යුක්රේන්” ලෙස නම් කර ඇති මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර වසර හතරක් සපිරෙන අවස්ථාවේදියි.
සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මේ සදහා රටවල් 107 ක් පක්ෂව සහ රටවල් 12ක් විරුද්ධ ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 51 ක් ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව බහරේන්, බංග්ලාදේශය, බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදයද මේ සදහා ඡන්දය දීමෙන් වැළකී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
මෙම යෝජනාවෙහි ස්ථාවර සාමයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර යුද සිරකරුවන් හුවමාරු කිරීම, නීතිවිරෝධී ලෙස රඳවා ඇති පුද්ගලයින් නිදහස් කිරීම ආදි යෝජනා ද ඇතුලත්.
එමෙන්ම යුක්‍රේනයේ ස්වාධීනත්වය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවයේ අවශ්‍යතාව මෙමගින් තහවුරු කර තිබෙනවා.














