දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව හෙට යළි කැදවීමට නියමිතයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක පැවති බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට, රජයේ මුදල් වැයකර සහභාගි වීම සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වී ඇත්තේ .
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පසුගිය 22 වනදා නියෝග කළා.
අනතුරුව නව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව හදිසි වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.
මේ වනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විජලනය මත සංකූලතා තත්ත්වයක් හටගෙන ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කළේ.
ඒ අනුව, වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය යටතේ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මොහුගේ සෞඛ්‍ය තත්ත්වය පූර්ණ යහපත් තත්ත්වයට හැරී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළේ.
මේ අතර නෝර්වේහි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා .
ඔහු ඒ මගින් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වහාම නිදහස් කල යුතු බවයි.
එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ රට බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු සදහන් කර තිබෙනවා .
මේ අතර විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් අද දහවල් විපක්ෂ නායක කාර්යාලයට රැස්ව තිබුණා.
ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සදහායි .
ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන හා පලනි දිගම්බරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ජී එල් පීරිස් සහ සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් මේ සදහා එක්ව සිටියා.