විස මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .
කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 10.00ට මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතයි .
මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙනවා.
රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬපැවැත්වීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණයට වෙනමම කාර්යාංශයක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම, නවීන උපකරණ දීම සහ නිලධාරීන් පුහුණු කිරීම මේ යටතේ සැලසුම් කර තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් විධිමත් කර මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් මුදාගැනීමට, මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් දැඩි කිරීමට සහ පාසල් දරුවන් දැනුම්වත් කිරීමට අඛණ්ඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ප්‍රකාශ කළා .
එමෙන්ම ජනාධිපතිවරයා එහිදී සදහන් කලේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවයි.
මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකර ගනිමින් බොහෝ අපරාධ සිදුවන බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එම විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිම අත්‍යවශ්‍යව සිදු කල යුතු වනවා.
එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහායි ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ .













